vectorsur

වාහක කළමනාකරණය ප්‍රධාන කාර්යයන් 2 ක් හරහා සිදුවේ. එනම් 

  • වාහක ආවේක්ෂණය   
  • වාහක පාලනය (පරිසර කළමනාකරණය, ජෛවීය පාලන ක්‍රම, රසායනික පාලන ක්‍රම, ඒකාබද්ධ වාහක පාලනය, අන්තර් පාර්ශවීය සම්බන්ධීකරණය, ප්‍රජා සහභාගිත්වය) වාහක ආවේක්ෂණය යනු ක්‍රමානුකූලව මදුරු ඝනත්වය හා වරිකත්වය ගණනය කිරීමයි.

    

වාහක ආවේක්ෂණය මගින් යම්කිසි ප්‍රදේශයක වාහක (කීට, පිලවා හා සුහුඹුල්) ඝනත්වය නිර්ණය කිරීමටත් එමගින් ඩෙංගු වසංගත තත්වයක් ඇතිවීමට පෙර මදුරු මර්දන කටයුතු සිදු කිරීම මගින් වසංගත තත්වයක් පැතිර යාම අවම කිරීමටත් හැකියාවක් ඇත.

 

වාහක ආවේක්ෂණය මගින්

  • කාලයත් සමග වාහක ඝනත්වයේ වෙනස් වීම නිරීක්ෂණය කිරීම මගින් රෝගය ව්‍යාප්තවීමේ අවදානම් කාල පරාස  කලින් හඳුනා ගැනීමටත් එමගින් වසංගත තත්වයන් කඩිනමින් පාලනය කිරීමටත් අවස්ථාව ලැබේ.
  • වාහක ආවේක්ෂණය තුලින් වාහකයා බෝවන ස්ථාන, හැසිරීම් රටාව හා රෝගය ව්‍යාප්ත කිරීම සඳහා එක් එක් මදුරු විශේෂ වල දායකත්වය අධ්‍යනය කල හැක. මෙම තොරතුරු උපයෝගී කරගෙන ඩෙංගු රෝග පාලන කටයුතු දිවයින පුරා වඩාත් ඵලදායී අයුරින් සිදු කිරීමේ හැකියාව ඇත.

වාහක පාලනය

වාහක පාලන ක්‍රියාකාරකම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ මට්ටමෙන් සිදු කෙරේ.

ප්‍රධාන කාර්යයන්

  • දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් හට ඩෙංගු මදුරු මර්දන කටයුතු ප්‍රශස්ත මට්ටමෙන් කරගෙන යාම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම, පුහුණුව, උපකරණ, කෘමිනාශක හා මුල්‍යමය ප්‍රතිපාදන ඇතුළු අනෙකුත් සියළුම අවශ්‍ය පහසුකම් සැපයීම.
  • වාහක කළමනාකරණය පිළිබඳව මාර්ගෝපදේශ පිළියෙළ කිරීම, බෙදා හැරීම හා අදාල කාර්ය මණ්ඩල පුහුණු කිරීම.
  • ඩෙංගු රෝග වාහක මර්දනය සඳහා යොදාගනු ලබන කෘමිනාශක සඳහා මදුරුවා තුල ප්‍රතිරෝධනයක් ඇති වෙන්නේදැයි සොයා බැලීම සඳහා පර්යේෂණ සිදු කිරීම.
  • දිස්ත්‍රික්ක මට්ටමේ ක්‍රියාකාරකම් නිරතුරුව අධීක්ෂණය කිරීම හා සමාලෝචනය.
  • මාසිකව ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම.
  • සතිපතා ලැබෙන කීට විද්‍යා දත්ත විශ්ලේෂණය කර මදුරු ඝනත්වය වැඩිප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීම් සිදු කිරීම.      

ජෛවීය පාලන ක්‍රම

මදුරු කීටයන් ආහාරයට ගන්නා හෝ, ඔවුන් සමග තරගකාරී හෝ ඔවුන්ගේ වර්ධනය අඩාල කරන ජීවින් හෝ ජෛව කොටස් මදුරු මර්දනය සඳහා භාවිතා කිරීම

දැනට ඩෙංගු මදුරු මර්දනය සඳහා  යොදාගන්නා  ජෛවීන් හා ජෛවී කොටස්

  • කීට භක්ෂක මසුන්: වතුර රැස් කරන බඳුන්, බැරල්, සිමෙන්තියෙන් බඳින ලද නොගැඹුරු ළිං සහ කර්මාන්තශාලා වල ඇති ටැංකි සඳහා කීට භක්ෂක මසුන් යෙදිය හැක.
  • ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා වඩාත් යෝග්‍ය කීට භක්ෂක මසුන් වනුයේ, 
    • ගප්පි
    • නලහදයා
    • තිලාපියා
    • දන්ඩි
  • අනෙකුත් ක්‍ෂුද්‍ර ජීවින් උදා: බි ටි අයි බැක්ටීරියාව

රසායනික පාලන ක්‍රම: කීට නාශක

මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ ප්‍රධාන මර්දන ක්‍රමයට අමතරව රසායනික කීට නාශක යෙදීම අවශ්‍යතාවය මත   පමණක් මදුරු මර්දන ක්‍රම වේදයක් ලෙස භාවිතා කල හැක. හදිසි අවස්ථාවන්වලදී හැර අනෙකුත් අවස්ථාවන් වලදී රසායනික කීට නාශක යෙදීම වෙනත් කිසිම ක්‍රමයකින් ජලය ඉවත් කල නොහැකි හා පිරිසිදු කල නොහැකි බඳුන් හෝ ටැංකි සඳහා යොදාගත යුතුය.

රසායනික පාලන ක්රම : සුහුඹුල් මදුරුවන් සඳහා

ලංකාවේ දැනට වැඩිහිටි මදුරුවන් විනාශ කිරීම සඳහා රසායන ද්‍රව්‍ය අවකාශයට යෙදීම සිදු කරනු ලැබේ. මෙම ක්‍රමවේදය භාවිතා කිරීම නිර්දේශ කරන්නේ වසංගත තත්වයක්  පාලනය කිරීමට හෝ වසංගත තත්වයක් ඇතිවීම වැලැක්වීම සඳහාය. රසායන ද්‍රව්‍ය අවකාශයට ඉසීමේ ප්‍රධාන අරමුණ වන්නේ විශාල වශයෙන් සහ කඩිනමින් පරිශ්‍ර තුල හා පිටත සිටින සුහුඹුල් මදුරුවන් විනාශ කිරීම වේ. අවකාශයට රසායන ද්‍රව්‍ය ඉසිමෙදී සුදුසු රසායන ද්‍රව්‍යක් භූමිතෙල් සමග මිශ්‍ර කොට ඉතාමත් සියුම් අංශු වශයෙන් පරිසරයට මුදා හැරේ. මෙම සියුම් අංශු පියාඹන  මදුරුවෙක් හා ගැටීමේදී මදුරුවා විනාශයට පත්වේ. මෙම රසායනික අංශු පරිශ්‍ර තුලට යෑම සඳහා දොර සහ ජනෙල් විවෘත කර තබා ගත යුතුය.

දැනට 1% ටෙමිපොස් කුඩු වතුර ලීටර් 10 කට ග්‍රෑම් එකක් යන අනුපාතයට සකසා කීට නාශකයක් වශයෙන් වතුර රැස් කර තබා ගන්නා ටැංකි හා බැරල් සඳහා යොදනු ලැබේ.

 රසායනික කෘමි නාශක වර්ග යෙදීම මගින්  ඊඩිස් මදුරු කීටයන් හෝ සුහුඹුල් මදුරුවන් විනාශ කිරීම

  • කීට නාශක උදා: ටෙමිපොස්
  • වැඩිහිටි මදුරුනාශක උදා: ඕගනොපොස්පෙට් , පයිරිත්රොයිඩ්