inner others news

ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවේ  වාහක රෝගයන්  අතර ප්‍රධාන තැනක් ගන්නා  අතර පළමු වරට රසායනාගාර පරීක්ෂණ මගින් ඩෙංගු රෝගය බවට තහවුරු කරන ලද රෝගියකු වාර්තා වුයේ 1962 වසරේදීය. ඩෙංගු වසංගත තත්වයක් පළමුවරට වාර්තා වුයේ 1965-1966 වසරවලදී වන අතර ඩෙංගු රක්තපාත රෝගීන් කිහිපයක් පමණක් මේ අතර සිටින ලදී. වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සිදු කරන ලද පර්යේෂණ වලට අනුව 1970 හා 1980 දශකවල ඩෙංගු රෝග ව්‍යාප්තිය නොකඩවා සිදු වී ඇති අතර වසංගත තත්වයන්ද යම් යම් කාල වකවානු තුල සිදුවී ඇත.  මේ කාලය තුල තීව්‍ර ඩෙංගු රෝග තත්වයන් වන ඩෙංගු රක්තපාත හා ඩෙංගු කම්පන තත්වයන් ඉතා කලාතුරකින් පමණක් වාර්තා වී ඇත.

තවද 1980 -1985 කාලයේදී   වෛරස් රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර ලැබූ රෝගීන්ගෙන් 14% - 24% වන රෝගීන් සංඛ්‍යාවකගේ රෝග තත්වයන් ඩෙංගු වෛරසය අසාදනය වීම නිසා සිදුව ඇති බවට හා වෛරස් කාණ්ඩ 4 ම මේ කාලයේදී ලංකාවේ පැතිර ගිය බවට ද සොයා ගෙන ඇත.  එලෙසම ඩෙංගු 2 හා ඩෙංගු 3 යන වෛරස් කාණ්ඩ වැඩි රෝගීන් සංඛාවක් තුල තිබු බවටද හඳුනාගෙන ඇත.

පළමුවරට ඩෙංගු 3 වෛරස් කාණ්ඩය හේතුවෙන් ඩෙංගු රක්තපාත හා ඩෙංගු කම්පන තත්වය සහිත වසංගත තත්වයක් 1989- 1990 දී වාර්තා විය. ඩෙංගු 3  වෛරස් කාණ්ඩය ලංකාවේ සංසරණය වී වසර ගණනාවකට පසුව පළමුවරට මෙවැනි තත්වයක් ඇති වූයේ  ඩෙංගු 3  වෛරස් කාණ්ඩයේ  සිදු වූ ජානමය වෙනස් කමක් හේතුවෙන්  බවට ද  අනුමාන කරයි.

එතැන් සිට නියත කාල පරාසයන් වලදී ක්‍රම ක්‍රමයෙන් රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩි වීමක් සහ වඩාත් තීව්‍ර ඩෙංගු රක්තපාත හා කම්පන තත්ත්ව සහිත වූ වසංගත තත්වයන් ශ්‍රී ලංකාව තුල වාර්තා විය.

මෙම තත්වයන් මත 1996 වසරේදී ඩෙංගු රෝගය අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතු රෝග ලැයිස්තුවට අන්තර්ග්‍රහණය කරන ලදී. 

ඩෙංගු රෝගයේ වර්තමාන තත්වය

ඩෙංගු වෛරසය දිවයිනේ බොහෝ ප්‍රදේශයන් වල විශේෂයෙන්ම වඩාත් නාගරීකරණය වූ හා ජනාකීර්ණ ප්‍රදේශයන් වල වසර මුළුල්ලේම පැතිර යෑමේ ප්‍රවනතාවක් පෙන්නුම් කරයි. වැඩි රෝගීන් සංඛ්‍යාවක් වසර මැද (මැයි මස සිට ජූලි මස අතර කාලයේදී ) නිරිත දිග මෝසම් වැසි ආශ්‍රිතව ද  වසර අගදී ( ඔක්තෝබර් සිට ජනවාරි දක්වා) ඊසාන දිග මෝසම් වැසි සහිත කාලගුණය ආශ්‍රිතවද වාර්තා වේ.